අමාදහරින් දෝතක් ගෙන….

විරහව ආදරය වගේ කෙලෙස් වලින් බරිතවුනු මාතෘකා ඔස්සේ දිගින් දිගටම නිර්මාණ ඉදිරිපත් කිරීම තුලින් මම ඔබ සමීපයට ම පැමිණියත්, සිත සුවපත් කරනට ඒ දේවල් කොච්චර දුරකට ඉවහල් වුනාද කියන එකනම් සිත තුල සදහට ම ඉතිරිව පවතින ගැටලුවක්. මිනිසාගේ හැඟීම් උත්දීපනය කරන්නට කරන්නට තව තවත් කෙලෙස් හි ඇලී ගැලී ජීවත් වෙන්නට නැඹුරුවක් පෙන්නුම් කිරීම, ඔබට මට විතරක් නොව මුලු ලෝකයට ම පොදුවූ ධර්මතාවයක් විදිහට හඳුනා ගන්නට පුලුවන්.

දුර ගමන් යන තනිව හැසිරෙන, සිරුරකින් යුක්ත නොවූ අතිශය සංකීර්ණ වුනු සිතක උපදින සිතුවිලි සමුදායක ඇති විවිදත්වය වචන යොදාගෙන පහසුවෙන් විස්තර කිරීම තරමක අපහසු කරුණක් විදිහට සැලකිය හැකිය. කලින් කලට උපදින නේකවිද රැළි ඔස්සේ ජීවන ඔරුවේ හබල ගෑමට පුරුදුව ඉඳීම තුලම අප තුල පවතින්නේ දැඩි මෝහයක් කියා වරෙක හැඟීයයි.

සිත වෙහෙසට පත්කරන, අවුල් ජාලාවක පටලවන අනේකවිද කාරණා කෙතරම් පැවතුනත් සිත සුවපත් කිරීමට දායක වන කාරණාද නැතුවාම නොවෙයි. නගරබද ජීවිතයට මදකට සමුදෙන අතරතුරේදී සුන්දර නිස්කලංක ගමක පවතින සිරියාව කෙරෙහි සිත යොමුකරගතහොත් ඒ සදාතනික සුවය විඳගන්නට අනිවාර්යයෙන් ම අවස්ථාවක් ලැබෙනු ඇති. එතුලින් නියම සුන්දරත්වයක් වගේම සිතෙහි පවතින ලතැවුල් දුරුකරනට සෑහෙන තරමේ දායකත්වයක්ද ලැබෙනු නොඅනුමානයි.

නූතන සමාජ ක්‍රමයට ගැතිවී සිටින තාක්කල් අප කිසිකෙනෙකුට නිවැරදි මග, යායුතු මග සොයා ගැනීම අනිවාර්යයෙන්ම අපහසු කාරණයක්. මඳකට හිස මත, සිත තුල පවතින හැඟීම් පසෙකින් තබා සිත සුවපත් කරනට බුදු වදනින් ලබාගත හැකි පිටුවහල පිලිබඳව මෙනෙහි කිරීම තුලම සිතට දැනෙන නිවීම මෙතකැයි කියා පැවසිය නොහැකි තරම්.

ඒ නිවීම මම විඳි අයුරින් අංශුමාත්‍රයක් සටහනට නගන්නම් මේ ලෙසින්…

saminda

Share on Facebook

Comments are closed.